Tuesday, August 30, 2016

කවි සිතකට මම පෙම්කල වරදට ලොව මට එරෙහි වෙලා...


සංසාරේ කොයිතරම් දිගද කොයිතරම් පලලද කියන්න දන්නේ නැති වුනාට අපි සංසාරේ ගාවගෙන කොයිතරම් දේවල් කතා කරනවද කොයිතරම් දේවල් ගලප ගන්නවද.. මට හිතෙන්නේ ඇත්තටම කියනව නම් ඒ වෙන මොකක්වත් නෙවෙයි මනුස්සගතියට තියන පරිකල්පන හැකියාව කියල ...
බොළඳ ප්‍රේමනීය කතාවක ඇතුලාන්තය ගැන කතා කරන්න මට උවමනා වුනේ නැහැ. හැමදාම මම ඔබට පෙම්කලා ඒ වගේම මම ඔයාගේ කවිවලට හුස්ම පොවන්න හැදුවා. මට ඕනේ මමත් සාධාරණයි කියල කියන්න නෙවෙයි. මට ඕනේ හැමෝටම ඇහෙන්න කෑගහල මගේ අසරණකම ගැන ප්‍රසිද්ධ කරන්න නෙවෙයි..

මම දවසක් එනකම් බලාගෙන ඉන්නවා.. අමා ඔයාට පුලුවන්ද ඉවසන්න...

කියාගන්න මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනිවී
හමුවන්නට බැ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත යොමුවේ...

මගේ අත්තටු තවම හයිය නැහැ.. ඔබ ඉදිරියේ වීරයෙක් වුනාට විසල් සුවිසල් සමාජයේ මම වීරයෙක් නෙවෙයි.. මට ඔයත් එක්ක බෙදාගන්න , මුහුදු රැල්ලට කතා කියන්න, අත් අල්ලාගෙන අනන්තයට ඇවිදින්න හිතේ හීන නැතුව නෙවෙයි.. දෙයියනේ කොහොමද මගේ හීනවලට මම අකුරු හොයන්නේ මම ඉන්න සමාජ අසාධාරණය ගැන ඔයාට කියන්න සම්මුතිකව ශබ්ද වලට මේ සමාජයම දීපු සංකේත මට මදියි..

වරම් නොවේ මට ඔබ හමුවන්නට
ඈතින් ඉද හිනැ‍හෙනු මැනවී

මම දන්නවා හිතන තරම් පහසු නැහැ කියලා...
ඔබේ හැම කවියකම ඉන්න මගේ සුසුම් පොද ගිලිහෙන්නට නොදී රැකගන්න .. මගේ ඉල්ලීම එයයි..
කවි කාරියකට පෙම්කල නිසා ඒ කවි කාරියගේ විරහ කවියට පෙම්කරන සහුර්දයන්ගේ සාපයට මා හසු නොකරන්න..

අහිංසක අප දෙදෙනෙ තටු කඩා මේ ලෙසින 
සිදීගිය ගඟ දෑල හැර දැ‍මූවේ කව්ද 
සඳට ‍දොස් නොකියන්න සඳ කුමක් කරන්නද 
බාල වයසින් මැරුණ ප්‍රේමයකි තරු එළිය 

කටුක දුක් විරහ මැද අතරමං වී ගියද 
අපි තවම පෙම් කරමු අපේ ජීවිත වලට 
කියාදෙනු පියඹන්ට අපි අපේ පැටවුන්ට 
නිදහසේ තටු ලැබුණ කුරුල්ලන් වී දිනෙක 

කවි නොලියු කවියාගෙන් කවිකාරිට පණිවිඩයක්..

ඔයා කියන කතාව සහතික ඇත්ත..  නොපෙනෙන්න ඉන්නකොට  හැමදාම හැමෝටම මාව එපාවෙන විදියටම ඔබ සාධාරණ බව ඔප්පුකරන්න ගත් වෑයමට ස්තුතියි.. නිකිණි මාහට මහ වැහි මහ පොළව නොතෙමන අභාග්‍යට ද මා වරදකරු කරන ඔබට මම දොස් නොපවරමි. අපේ ඉතිහාසික කතාව ඇතුලේ විජයව මුග්ධ ප්‍රේමවන්තයෙක් කරන මිනිසුන්ට නොතේරෙන හද විල කලඹන සෝකාන්ත ප්‍රේමයක විජය සිරවූ බව නොපෙනෙන්නේ තමන්ගේ පැත්ත  පමණක් දකින බලන කෙන්නෙක්ට විතරයි කියල හිතන්න අමාරුද?

 ඇත්තටම  මම කවියෙක් නෙවෙයි.. නමුත් මම හැමදාම ඔයා ලියන කවි දිහා බලාගෙන හිටිය.. ඔයා ඒ කවි ලියනකොට ඒ කවි වලට කතන්දර හැදුව .. හදවතින්ම මම ඒ කවි වින්දා කවිය තුල මම ඔබව අදහන්න පුරුදු වුනා කවිකම් නොදන්නා හිත කවි රසයට වහල් වුනා කියලත් හිතෙනවා.. ඇත්තටම ඔයා නොලියපු එකම කවිය මම බව මම දන්නවා... සත්තයි... නන්දා මාලනී නැන්දා ගොඩාක් ඉස්සර කියපු ගීතයක කොටසක් මට මතක් වුනා. ඇත්තටම කියනවනම් ඒ කතාව අදටත් කොයි තරම් සාධාරන කතාවක්ද කියල හිතෙනවා.. "නොලැබ කිවිදුන් කුමට කවිකම් කිවිද මට කවිලොවේ... " 
කවිකම් කොතරම් තිබුනත් ඔබ සතුටුවෙන්නේ කිවිඳුන් ගෙන් බව මම දන්නවා.. නමුත් මට සමාවෙන්න...
මෝටාර් ගුවන්ගත කරන්න දෙවරක් නොසිතන ඔබ තවමත් නිහඬව බලා සිටින්නේ ඒ අලෙවි නොවුණු මිලක් නැති හීනයට පෙම් බඳින නිසා බවත් මම දන්නවා..

ඔයාගේ නඩු තීන්දුව මාව ගොරහැඬි මුර්ධජ අකුරක දිවි ඇති තෙක් සිරකිරීම සාධාරණද කියල පොඩ්ඩක් හිතල බලන්න. 

නන්දා මාලනී නැන්දගේ මේ සින්දුව ඇහෙනකොට සත්තයි මට ඔයාව මතක්වෙනවා..
අමා මට සමාවෙන්න.. ඔයාගේ හීනසප්පුවේ මම මිලක් අහිමි හීනයක් වුනාට ..
සහුර්ද ඔබට හැකිනම් මිලක් අහිමි ඒ හීනෙට වටිනාකමක් තියනවද කියල විනිශ්චය කරන්න..
නඩු තීන්දුවට අභියාචනාවක් ඉදිරිපත් කිරීමට සහය වන්න.

කුරුටු ගෑ ගී‍ පොතේ කුරුටු ගී කෑ ගසා 
ගිලන් හද පාරවා ගෙනේ වද වේදනා...
කුරුටු ගෑ ගී පොතේ...
ඔබෙන් පෙරදා උගෙන කවිකම් ලියූ කවි ගීතිකා...
ඔබේ නාමෙන් හැඩූ කදුලින් ගයමි මම කිවිදුනේ...

මියුරු කවිවැල් කුරිරු ස්ව‍රයෙන් ඇසේ රෑ යාමයේ
නොලැබ කිවිදුන් කුමට කවිකම් කිවිද මට කවිලොවේ...


සත්තයි තවමත් ආදරෙයි..